top of page

                                                       මල් අස්නේ රාජ මහා විහාර මන්දිරය 

 

                                                                                            පළවන පරාක්‍රමබාහු රජ සමයේ (ක්‍රි.ව.1164-1197) එතුමා ත්‍රීසිංහලාධිශ්වර වූ පසු සිරිලක පුරා වෙහෙර විහාර රාශියක් කර වූ බව මහාවංශයේ සදහන් වේ. එවකට රට පුරා කරවන ලද විහාර අතුරින් මෙම මල් අස්නේ රාජ මහා විහාරස්ථානයද එක් ස්ථානයක් යැයි විශ්වාසයක් පවතී.ක්‍රි.ව.1250 දී රජ පැමිණි ‘කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත’ දෙවන පරාක්‍රමබාහු රජතුමා නැවත සිංහලය එක්සේසත් කර ශාසනාභිවෘධිය පිණිස වැඩ කර ඇත.එතුමා තම දේවපතිරාජ නම් අගමැති ලවා ශ්‍රී පාද වන්දනා පිණිස යහපත් වූ මාර්ගයක් ඇති කළ බවත් කියවේ.මෙම විහාරස්ථානය අසලින් දිවෙන කළුතර , හොරණ ,රත්නපුර හරහා වන ශ්‍රී පාද මාර්ගය අනුව මෙම විහාරය පළමුවන පරාක්‍රමබාහු කාලයේ දෙවන පරාක්‍රමබාහු රජ කාලයේ ප්‍රතිසංස්කරණය කරවූවා හෝ අළුතින්ම සදා නිම කළා විය හැක.කෝට්ටේ රාජධානි සමයේ (ක්‍රි.ව.1410-1462) දී සවැනි පරාක්‍රමබාහු රජතුමා විසින් මෙම සිද්ධස්ථානය සදහා තඹ සන්නසක් ප්‍රදානය කර ඇත.එනිසා එතුමාගේ කාලයේ දී නැවත මෙම ස්ථානය නැවත ප්‍රතිසංස්කරණය කරවිමක් හෝ නැවත ඉදි කිරීමක් කර පුජා කිරීමක් වූවා විය හැක .

                                                                                        පෘතුගීසි සමය ආරම්භයත් සමග මෙම ස්ථානය ද පිරිහීමට ලක් වූ අතර පසුව ඕලන්ද පාලන සමයේ දී ‘දෙම්බොඩ හාමුදුරුවෝ’ නම් ප්‍රසිද්ධ තෙර නමක් පැමිණ නැවත එළිපෙහෙළි කර මෙම ස්ථානය ප්‍රතිස්ථාපනය කර ඇත.මල් අස්නේ විහාර මන්දිරය පුරාණ කාලයේදී තාප්ප මැට්ටෙන් ගොඩනගා විශාල දැව කදන් යොදා තනවන ලද දික් වූ ගොඩනැගිල්ලක් වූ අතර වර්තමාන විහාරයේ ඇති මනරම් සැතපෙන බුදු පිළිමයත් , මහත් වූ හාස්කම ඇති ශ්‍රී විෂ්ණු ප්‍රතිමාවත් එම පැරණි විහාර මන්දිරයේ ඉතිරි ව ඇති වටිනා වස්තූ න්ය.

මල් අස්නේ රාජ මහා විහාරයේ විහාර මන්දිරය දුටු පමණින් පෞරාණිකත්වය විද්‍යමාන වන ගෘහ නිර්මාණ ශිල්පයක අභිමානත්වය මතු වී පෙනේ .

                                                                                         විහාර මන්දිරයේ ශෛලමය උළුවහුවලින් යුතු පිවිසුම් දොරටු තුනකි.මැද පිහිටි ප්‍රධාන පිවිසුම් දොරටුවේ ඉහළ දළදා වහන්සේ නිරූපිතය.වට මාලයට ඇතුළු වන විට ඉදිරියෙන්ම මෛත්‍රී බෝසත් පිළිරුවකි.මකර තොරණින් විචිත්‍රවත් ව නිර්මාණය කර ඇති වටමාලය දෙපස සිංහ ප්‍රතිමා දෙක සහ විශාල ප්‍රමාණයේ දොරටුපාල රුප දෙක මහත් තේජස් බවක් උසුලයි.ඇතුලුමාලයට පිවිසුම් දොරටු දෙකකි. ඇතුලුමාලයේ ගන්ධ කුටියේ දහ අට රියන්සැතපෙන බුදු පිළිම වහන්සේ නිර්මාණය කොට ඇත.ජීවමාන බුදුගුණ  විද්‍යමාන වන සේ නිමවා ඇති මෙම පිළිමය බුදුපියාණන් වහන්සේ සිංහ සේයාවෙන් ශ්‍රී හස්තය සිරස මත තබා සැතපෙන අයුරින් නිර්මාණය කර ඇත.මුහුදු රැළි මෙන් නිරූපිත සිවුරකින් යුත් මෙම පිළිමය පොළොන්නරු යුගයත් අමරාවතී කලා සාම්ප්‍රදායෙත් සම්මිශ්‍රණයක් යැයි සිතිය හැක.

                                                                                            මෙම සැතපෙන ප්‍රතිමාව සුදුවැලි සහ මැටි මිශ්‍රණයකින් නිමවා ඇත .අතුලුමාලයේ දකුණු පසින් බුද්ධත්වය දැක්වෙන හිදි පිළිමය සවණක් ගණරැස් බුද්ධ රශ්මි මාලාවෙන් හා ----------මාලාවෙන් අලංකෘත ව නිර්මාණය කර ඇත .වම්පසින් බුදු පියාණන් වන්සේගේ රුව සහිත පිළිමයත් එහි පසෙකින් කාශ්‍යප මහරහතන් වහන්සේගේ පිළිමයත් නිර්මාණය කර ඇත .අනෙක් පසින් විෂ්ණු දිව්‍ය රූපයද නිර්මාණය කර ඇත .උළු සෙවිලි වහලයේ කළ සිවිලිමෙහි දර්ශනීය සිතුවම් වලින් අලංකෘතව සොලොස්මස්ථාන නිමවා ඇත .සිවිලිමෙහි මදක් පහළින් අටවිසි බුද්ධ රූප කිහිපයක් හා සැතපෙන පිළිමයට ඉදිරියෙන් මහා සගරුවන බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමින් සිටින ආකාරය නිර්මාණය කර ඇත .

 

  • White Instagram Icon

Contact Us

Address

Capture.PNG

© Copyright 2021 by D Webs.

Tel-071-26 22 864

Email:sridewanandadammaschool@gmail.com

ශ්‍රී දේවානන්ද දහම් පාසල,
මල් අස්නේ රජ මහා විහාරය,
උග්ගල්බඩ

Unknown TrackUnknown Artist
00:00
bottom of page