top of page

මල් අස්නේ රාජ මහා විහාරයේ ඉතිහාසය

 

බස්නාහිර පළාතේ කළුතර උතුර ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් උග්ගල්බඩ මල් අස්නේ රාජ මහා විහාරය ඉතා රමණීය භුමි භාගයක පිහිටි ඵෙතිහාසික සිද්ධස්ථානයකි . කළුතර-හොරණ මාර්ගයේ නාගස්හන්දියේ සිට 3 km ගිය කල හමුවන උග්ගල්බඩ මේ නමින් හැදින්වීමට වූයේ අතීතයේ උස්ගල් වලින් යුත් භූමි භාගයක් වන හෙයිනි.ඉංග්‍රීසි පාලන අවධියේ ආර්ථික මෙන්ම සමාජීය වශයෙන් ඉහළ වටිනාකමකින් යුත් උග්ගල්බඩ රබර්, පොල් , කුඹුරු ආදිය ජීවනෝපාය කරමින් සිටි මිනිසුන් වූහ .

සමනොළ සිරිපා අඩවියෙන් ගලා හැලෙන කළු ගං කොමළියගෙන් පෝෂණය වන මෙම ප්‍රදේශය ගොවිතැන අතින් ඉතා සශ්‍රීක ප්‍රදේශයකි .වර්තමාන මල් වත්ත නමින් හදුන්වන ප්‍රදේශයේ ඉංග්‍රීසි සමයේ මල් වත්තක් පවත්වාගෙන ගොස් ඇති අතර පසු කලෙක එය පේරාදෙණිය වෙත රැගෙන ගොස් ඇත.

ඵෙතිහාසික අතින් ඉහළ අගයක් ගන්නා උග්ගල්බඩ ග්‍රාමයේ ඵෙතිහාසිකත්වය ත්‍රීවු කෙරෙන ප්‍රධානතම සාධකය වන්නේ ක්‍රි.ව. 1236-1270 යන කාල වකවානුව තුළ නැන්බඔරේ කලිකාල සාහිත්‍ය පණ්ඩිත දෙවැනි පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ ආරම්භ කළ ක්‍රි.ව. 1410-1467 දී කෝට්ටේ රාජධානි සමයේ ලම්භකර්ණ වංශික හයවැනි පරාක්‍රමබාහු රජු තඹ සන්නසකින් පිරිනැමූ මල් ලක්ෂයක් පූජා කල මල් අස්නේ රාජ මහා විහාරයයි .

පෘතුගීසි හා ලන්දේසි පාලන සමයේ මෙරට ආගමික සිද්ධස්ථාන වල වල් බිහි වන්නට විය . ලන්දේසි කාලයේ අහභාගයේ දී දෙගම්බොඩ හිමි නම් යති පඩිරුවනක් මෙම ස්ථානයට පැමිණ සංවේගය උපදවා ගත්හ .වසර 40 ක් පමණ කාලයක් විහාරයේ වැඩ සිටි උන් වහන්සේ අනතුරුව ගිලන් විය .ඉන් අනතුරුව බෙන්තර ගලපාත විහාරයේ විහාරාධිපති වල්පොල ගුණරතන හිමි වෙත ලියවිල්ලකින් මෙමෙ ස්ථානය පැවරූහ.ඊට ප්‍රථම මෙම ස්ථානයේ මෙම විහාරස්ථානයේ විහාරාධිපති ධුරය හෙබ වුයේ බෝධි මළුවේ පාරිශුද්ධාභිධාන පහතරට ප්‍රධාන සංඝනායක හිටියේ ශිෂ්‍ය නමකි .ඉන් අනතුරුව රත්මලේ ජෝතිපාල හිමි විහාරාධිපති ධූරය හෙබ වූ අතර උන් වහන්සේ විසින් කළුතර සෝභිත ,පරදූවේ වනරතනය හා තලහිටියේ ආනන්ද යන  ශිෂ්‍යයන් වහන්සේලා තිදෙනෙකු බිහි කළේය.අනතුරුව ශ්‍රී.බු.ව.2350 දී ජෝතිපාල හිමි අපවත් විය.

ඉන් අනතුරුව සම්ප්‍රධානුකුල ව කළුතර සෝභිත ස්ථවීරයන් විහාරාධිපති  ධූරය හෙබවිය.එසේම මේ සමයේ විහාරවත්තට යාබදව පැවති දේවාලවත්ත නම් ඉඩමක් විහාරස්ථානයට ලැබුණු අතර , දියගම හා විලේගොඩ ප්‍රදේශවලින්ද ඉඩම් කොටස් කිහිපයක් විහාරයට ලැබී ඇත.

මේ කල මල් අස්නේ ගල් තලාව ආසන්නයේ තවත් ගල් තලාවක ගලින් නිර්මාණය කරන ලද දාගැබකි.ඒ වටා ඇති පිළිම සතරකි.එසේම විහාර මන්දිරය වෙනුවට එකල විශාල දැව කදන් හා  තාප්ප මැට්ට යොදාගෙන ගොඩනගන ලද දික් වූ කුටියකි.එම විහාර මන්දිරයෙන් අදට ඉතිරි වී ඇත්තේ සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේත්, විෂ්ණු ප්‍රතිමාවත් පමණි.

ශ්‍රී.බු.ව.2369 දුරුතු මස ____ අපවත් වී වදාළ කළුතර සෝභිත ස්ථවිරයෝ රෝගාබාධව සිටි අවධියේදීම එම ස්ථානය ආරක්ෂා කර ගැනීමට පොතුවිල ඉන්ද්‍රජෝති හිමි වෙත පැවරීය.මේ සමය මල් අස්නේ රාජ මහා විහාරයේ ස්වර්ණමය යුගය උදා කෙරිණි.එවකට විහාරයේ පැවති ශෛලමය දාගැබ් වහන්සේ හා ඇත් පිළිම සතර වට කොට වර්තමානයේ දිස්වෙන මහා දාගැබ නිර්මාණය කොට ඇති අතර දාගැබ වැලි මළුව,සලපතල මළුව හා ගජන් මළුව (තෘණ මළුව) ලෙස ඉතා දුර්ලභ ගණයේ මාල තුනකින් වටවී ඇත.

ගුරු ගෝල සම්ප්‍රදායට අනුකූලව කළුතර සෝභිත ස්ථවීරයන්ගේ දෙටු ශිෂ්‍ය කළුතර විමලසාර ස්ථවීරයන් වෙත විහාරය පැවරිණි.‘හීන් හාමුදුරුවෝ’ යන නමින් ජනාදරයට පත් උන් වහන්සේ , දෙදියවල දේවානන්ද , උග්ගල්බඩ ප්‍රේමානන්ද හා කළුතර ගුණානන්ද නමින් ශිෂ්‍යයෝ තිදෙනෙකු බිහි කළහ.ක්‍රි.ව.1913 දී අපවත් වූ විමලසාර නාහිමිගෙන් අනතුරුව දෙටු ශිෂ්‍ය දෙදියවල දේවානන්ද ස්ථවිරයෝ විහාරාධිපති ධූරය හෙබවීය.පොතුවිල ඉන්ද්‍රජෝති ස්ථවිරයන්ගෙන් පසු විහාරයේ උදා වූ ස්වර්ණමය යුගය මෙයයි .දේවානන්ද නායක හාමුදුරුවෝ භාෂා විශාරදවරයෙකි.සිංහල,පාලි,සංස්කෘත, ඉංග්‍රීසි,දෙමළ හා චීන භාෂාවද උන් වහන්සේට කතා කිරීමට මෙන්ම ලිවීමටද හැකි විය.

දේවානන්ද නායක හාමුදුරුවෝ එවකට විහාරස්ථානයේ පැති මන්දිරයේ වැඩ නිම කරවීම,විද‌්‍යාදර්ශී නමින් පිරිවෙනක් ඇරඹීම,වර්තමාන පොත් ගුල් ගෙය නිර්මාණය ,භික්ෂු ලැගුම් ගෙවල් හා නේවාසිකාගාර නිර්මාණය ,පුස්තකාලයක් ඇරඹීම,වර්තමාන උග්ගල්බඩ මහා විද්‍යාලය සදහා විහාර භූමියේම ගොඩනැගිල්ලක් නිර්මාණය කර දීම,පාසල් හැර ගිය තරුණයන් සදහා වඩු පාසලක් ඇරඹීම,ශ්‍රී පුණ්‍යවර්ධන උපාසිකා සමිතිය , ශ්‍රී පුණ්‍යවර්ධන තරුණ බෞද්ධ සමිතිය,සුචරිතෝදය ළමා සමිතිය ආරම්භය ,එසේම දහම් පාසලක් විහාරස්ථානයේ නිර්මාණය කිරීම,වර්තමානයේ උන්වහන්සේගේ නාමයෙන් ගුණානුස්මරණය කෙරෙන ශ්‍රී දේවානන්ද දහම් පාසල 1946 දී උන් වහන්සේ විසින් නිර්මාණය කළ දහම් පාසලයි.

දේවානන්ද නායක හාමුදුරුවන්ට ගෝල හාමුදුරුවරු එකළොස් නමක් විය .එනම් දෙදියවල විපස්සී ,කැන්නන්තුඩාවේ පඤ්ඤාසාර,කරන්නාගොඩ ඉන්දසාර ,දූවේගම ඉන්ද්‍රජෝති ,කොටපිටියේ සීවලී , පාන්තියේ ගුණසිරි ගල්තොට ඤාණතිලක ,දූවේගම පඤ්ඤාකිත්ති,ජාවත්තේ නන්දාරාම ,දූවේගම ඉන්ද සුමන හා දෙදියවල හේමසිරි යනු එම භික්ෂුන් වහන්සේය.දෙදියවල දේවානන්ද නාහිමියන්ගෙන් අනතුරුව ගුරු ගෝල සම්ප්‍රදායට අනුව අභිනව විහාරාධිපති ධූරය හොබවන්නේ උන්වහන්සේගේ දෙටු ශිෂ්‍ය කැන්නන්තුඩාවේ පඤ්ඤාසාර ස්ථවිරයෝය.

  • White Instagram Icon

Contact Us

Address

Capture.PNG

© Copyright 2021 by D Webs.

Tel-071-26 22 864

Email:sridewanandadammaschool@gmail.com

ශ්‍රී දේවානන්ද දහම් පාසල,
මල් අස්නේ රජ මහා විහාරය,
උග්ගල්බඩ

Unknown TrackUnknown Artist
00:00
bottom of page